Wednesday, 27 May 2009

අටවිසි පිරිත

තණ්හංකරෝ මහා වීරෝ - මේධංකරෝ මහායසෝ
සරණංකරො ලෝකහිතෝ - දීපංකරෝ ජුතින්ධරෝ

කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ක්ඛෝ - මංගලො පුරිසාසභෝ
සුමනො සුමනො ධීරෝ - රෙවතෝ අරති වද්ධනෝ

සොභිතෝ ගුණසම්පන්නෝ - අනෝමදස්සි ජනුත්තමෝ
පදුමො ලෝකපජ්ජොතෝ - නාරදො වරසාරථි

පදුමුත්තරො සත්තසාරෝ - සුමේධො අග්ගපුග්ගලෝ
සුජාතෝ සබ්බලෝකග්ගෝ - පියදස්සී නාරාසභෝ

අත්ථදස්සී කාරුණිකෝ - ධම්මදස්සී තමෝනුදෝ
සිද්ධත්ථා අසමෝ ලෝකේ - තිස්සො වරදසංවරෝ

ඵුස්සො වරද සම්බුද්ධෝ - විපස්සී ච අනූපමෝ
සිඛී සබ්බහිතෝ සත්ථා - වෙස්සභූ සුඛ දායකෝ

කකුසන්ධො සත්ථවාහෝ - කොණාගමනො රණංජහෝ
කස්සපො සිරි සම්පන්නෝ - ගෝතමෝ සක්‍යපුංගවෝ

තෙසං සච්චේන සීලේන - ඛන්ති මෙත්තා බලේන ච
තෙපි මං අනුරක්ඛන්තු - ආරෝග්‍යේන සුඛෙන චාති

අට්ඨවීසතිමෙ බුද්ධා - පූරෙත්වා දස පාරමී
ජෙත්වා මාරාරි සංගමං - බුද්ධත්තං සමුපගමුං
ඒතේන සච්චවජ්ජේන - හොතු මෙ ජය මංගලං

  1. මහා වීරෝ = මහත්වූ වීර්‍ය ඇත්තා වූ
  2. මහායසෝ = මහත්වූ කිර්තිය ඇත්තා වූ
  3. ලෝකහිතෝ = ලොවට හිත අත්තා වූ
  4. ජුතින්ධරෝ = බබලන්නාවූ
  5. ජනපාමොක්ක්ඛෝ = ජනයාට නායක වූ
  6. පුරිසාසභෝ = මහත් වූ පෞරෂය ඇත්තා වූ
  7. සුමනෝ ධීරෝ = මනාවූ සිහිය ඇත්තාවූ ධෛර්‍යයෙන් යුතු
  8. අරති වද්ධනෝ = නො ඇලීම වර්ධනය කරන්නාවූ
  9. ගුණසම්පන්නො = ගුණවත් වූ
  10. ජනුත්තමෝ = ජනයින්ට උතුම් වූ
  11. ලෝකපජ්ජොතෝ = ලෝකය ආලොකමත් කළාවූ
  12. වරසාරථි = උතුම් මග පෙන්වන්නා වූ
  13. සත්තසාරො = සත්තවයා හරයෙහි ඇලවූ
  14. අග්ගපුග්ගලෝ = ශ්‍රේෂ්ඨ පුද්ඝලයා වූ
  15. සබ්බලෝකග්ගෝ = සියළු ලොවට අග්‍ර වූ
  16. නාරාසභෝ = අති උත්තම මිනිසා වූ
  17. කාරුණිකෝ= කාරුණික වූ
  18. තමෝනුදෝ = අඳුර දුරුකළා වූ
  19. අසමෝ ලෝකේ = ලෝකයේ අසම වූ
  20. වරදසංවරෝ = නිවන දීමෙන් සංවර කළා වූ
  21. වරද සම්බුද්ධෝ = මනාකොට අවබෝධ කරවූ තැනැත්තා වූ
  22. අනූපමෝ = උපමා නැති වූ
  23. සබ්බහිතෝ සත්ථා = සියළු සත්වයින්ගේ හිත පිණිස වූ
  24. සුඛ දායකෝ = සැපය දෙන්නා වූ
  25. සත්ථවාහෝ = උතුම් ශ්‍රාස්තෘවරයානෝ වූ
  26. රණංජහෝ = කෙලෙස් දුරු කළා වූ
  27. සිරි සම්පන්නෝ = ශ්‍රීයෙන් යුක්ත වූ
  28. සක්‍යපුංගවෝ = ශාක්‍ය කුලයේ උපන්නා වූ
මේ කිසිම ගුණයක් එක් බුදු රජානන් වහන්සේ කෙනෙකුට පමණක් සීමා වූ ඒවා නොවේ. සෑම බුදුවරයෙකු කෙරෙහිම මෙම ගුණ ඇත්තේය. ගද්‍යමය තත්වය වර්ධනය කිරීම පිණිස පද පූර්ණය සලකා එක් එක් ගුණ යොදා ඇති සෙයක් පෙනේ.

Monday, 25 May 2009

අටවිසි බුදු රජානන් වහන්සේලා

1. තණ්හංකර බුදු රජාණන් වහන්සේ
2. මේධංකර බුදු රජාණන් වහන්සේ
3. සරණංකර බුදු රජාණන් වහන්සේ
4. දීපංකර බුදු රජාණන් වහන්සේ
5. කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ
6. මංගල බුදු රජාණන් වහන්සේ
7. සුමන බුදු රජාණන් වහන්සේ
8. රේවත බුදු රජාණන් වහන්සේ
9. සෝභිත බුදු රජාණන් වහන්සේ
10. අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ
11. පදුම බුදු රජාණන් වහන්සේ
12. නාරද බුදු රජාණන් වහන්සේ
13. පදුමුත්තර බුදු රජාණන් වහන්සේ
14. සුමේධ බුදු රජාණන් වහන්සේ
15. සුජාත බුදු රජාණන් වහන්සේ
16. පියදස්සි බුදු රජාණන් වහන්සේ
17. අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ
18. ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ
19. සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ
20. තිස්ස බුදු රජාණන් වහන්සේ
21. ඵුස්ස බුදු රජාණන් වහන්සේ
22. විපස්සී බුදු රජාණන් වහන්සේ
23. සිඛී බුදු රජාණන් වහන්සේ
24. වෙස්සභූ බුදු රජාණන් වහන්සේ
25. කකුසඳ බුදු රජාණන් වහන්සේ
26. කෝණාගම බුදු රජාණන් වහන්සේ
27. කාශ්යමප බුදු රජාණන් වහන්සේ
28. ගෞතම බුදු රජාණන් වහන්සේ

Friday, 15 May 2009

පුණ්‍යානුමෝදනා...!

සාමන්‍ය දින චරියාවට වඩා අමතර කටයුතු තරමක් සහිත දින කිහිපයක් වූ බැවින්ම අප විසින් කළ යුතු යම් යම් කාර්යයන් පමාවී ඇති සෙයක් පෙනේ.

දැක බලා, වන්දනාමාන කොට පහන් හැඟීමක් ඇති කරගැනීමට කැමත්තක් ඇති ඇත්තන්ගේ ප්‍රයෝජනය සඳහාත්, බුදු දහම මත ගොඩනැගුනු සිංහල සංකෘතිය අනුව අප වෙත පැවරී ඇතැයි අප විසින් අදහස් කරන සමාජීය යුතුකමක් ඉටුකිරීම සඳහාත්, හතර පේරුවේ පිංවතුන් විසින්, අපගේ මතකයේ පරිදි 1975 හෝ ආසන්න කාලයක සිටම ඉදිරිපත් කරන ලද්දාවූ ඉල්ලීම් හා දක්වන ලද්දාවූ දායකත්වයන් නිසාත්, අපගේ සිත් තුල ඇතිවූ අදහසක් අනුව ඉදිකරන්නට යෙදුනාවූ චෛත්‍ය රාජයානන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඩා හිඳුවීමේ හා කොත් වහන්සේ පැළඳවීමේ අවස්ථාවන්ට සහභාගිවන මෙන් අප විසින් කරන ලද ආරාධනයන් පිළිගෙන පැමිණියා වූද, දුරකථනයෙන් හා විද්‍යුත් තැපැල් මාර්ගයෙන් සුභ පැතුවා වූද, සයිබර් අවකාශයේ සියළුම පිංවතුන්ට පුන්‍යානුමෝදනා පූර්වක ස්තුතිය මෙයින් පුද කරම්හ.

Friday, 8 May 2009

කොත්වහන්සේ පැළඳවීම

අභිනව චෛත්‍යයේ කොත්වහන්සේ පැළඳවීම 2009.05.08 ට යෙදුනු වෙසක් පුන් පොහෝදා උදෑසන 8 පසුවී විනාඩි 34ට යෙදුනු සුභ මොහොතින් සිදුකළ බව මෙසේ සඳහන් කර තබම්හ.

චෛත්‍ය රාජයානන්වහන්සේගේ ධාතු නිදානෝත්සවය

දොම්පෙ ගනේගොඩ ශ්‍රී පුන්‍යවර්ධනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ සර්‍වඥ්ඥ ධාතූන්වහන්සේලා වඩා හිඳුවීම රාජ්‍ය වර්ෂ 2009.05.07 දින පූර්‍ව භාග 8 පසුවී විනාඩි 56 ක් ගෙවී ගිය කල්හි යෙදුනු සුභ මොහොතින්, සතර දිග් භාගයෙන් පැමිණියාවූ සැදැහැති පිංවතුන්ගේ සාධුනාද මධ්‍යයේ සිදුකරන ලද බව මෙයින් සඳහන්කර තබම්හ.

Monday, 27 April 2009

සම්මාදම් හා පන්සල්

  • බෝධි ප්‍රාකාරය,
  • රන් වැට,
  • විහාර මන්දිරය,
  • ආවාස ගෙය,
  • ධර්ම ශාලාව,
  • චෛත්‍ය,
  • ඝණ්ඨාර කුළුණ,
  • මකර තොරණ,
  • ආරක්ෂිත තාප්පය,
  • දොලොස් මහේ පහන,
  • ......
  • ......
මෙ‍යාකරවූ ගොඩනැගීම් අතරින් එකක්වත් ඉදිවෙමින් නොපවතින හෝ ගෙවී ගිය වසරක කාලයේ සිදු නොකළ පන්සලක් ලංකාවේ තිබේදැයි නොදනිමු. එසේම එම ඉදිකිරීම්හි බරපැන සඳහා පොදුවේ ජනතාව හෝ, යම් විශේෂ කණ්ඩායමක් හෝ විශේෂ තනි පුද්ගලයෙක් හෝ සම්මාදම් නොවූ අවස්ථාවක් වේදැයි නොදනිමු. එසේම තමන්ගේ විහාරස්ථානය සඳහා ඉහත සඳහන් කළ ඉදිකිරීමක් තම පුද්ගලික ධන වියදමින් සිදුකළ භික්ෂූන්වහන්සේ කී නමක් ලංකාවේ වේදැයි නොදනිමු.

ඊයේ කියවූ මෙවැනිම සටහනක් කියවූ විට අප හට ඇතිවූ විචිකිච්ඡාවන් කිහිපයකි. ඒවානම්,
  1. පන්සලක් වීමට මෙම ගොඩ නැගීම් සියල්ලම අවශ්‍යද?
  2. "සියල්ලම අවශ්‍ය නොවේ, අවශ්‍ය කිහිපයකි" නම් ඒවා මොනවාද?
  3. කිසිවක්ම අවශ්‍ය නැතිද?
  4. පන්සල්හි කරනා ඉදිකිරීම් මහේශාඛ්‍ය විය යුතුද? නැතිනම් අල්පේශාඛ්‍ය විය යුතුද?
  5. මධ්‍යස්ථ මට්ටමේ විය යුතුද?
  6. මේවායේ බරපැන දැරිය යුත්තෝ කවුරහුද?
  7. පන්සල් ගොඩනැගීමට පෙර දායකයෝ සුඛිත-මුදිත වී සිටිය යුතුද?
  8. නැතිනම් අවමයෙන් 'කන්ඩ අඳින්ඩවත්' තිබිය යුතුද?
  9. පන්සල් ඉදිකිරීම රජය මගින් කිරීම සුදුසුද?
  10. නැත්නම් ඒ කිමද?
  11. අතීතයේ පන්සල් ඉදිකරන්නට ඇත්තේ ඉහත සඳහන් කුමන තත්ව යටතේ විය හැකිද?
  12. භික්ෂූන්වහ‍න්සේලා පන්සල් හා ඒවායේ ගොඩනැගීම් සිදුකිරීමට වෙහෙස විය යුතුද?
  13. භික්ෂූන්වහන්සේලා සිදුකළවදාළ යුත්තේ කුමනනම් දේද?
  14. භික්ෂූන්වහන්සේ නමක් ලෙස අප විසින් මෙසේ විමසීම සුදුසුයැයි ඔබ සිතන්නේ?
  15. නුසුදුසුනම් ඒ කිමද?
  16. සුදුසුනම් ඔබගේ පිළිතුරු මෙහි සඳහන් ක‍රන්නේ නම් කෙතරම් අගනේද!

Sunday, 26 April 2009

සර්‍වඥ ධාතූන් වහන්සේලා වැඩම කිරීම

අපගේ පූර්ව සටහනේ වූ සටහනක් පිළිබඳව යම් ගැටළු සහහගත තත්වයක් ඇති වී ඇති බව දැනගන්නට ලැබුනා. ඒ මේ කොටස ගැනයි.

"ශාසන හිතකාමී හා ජාතිමාමක සුපින්වතුනි,
මෙම සුවිශේෂී උත්සව මාලාවේ කුමන අවස්ථාවකට හෝ සහභාගිවන මෙන් ලබැඳිව
ආරාධනා කර සිටින අතර, සර්‍වඥ ධාතූන් වහන්සේලා සපයා දීමෙන් හා නිදන්වස්තු
තැම්පත් කිරීමෙන් මෙම සත්ක්‍රියාවට සම්බන්ධවන මෙන් කාරුණිකව දන්වා
සිටිමි. "


ඔවුන්ට ඇතිවූ සැකය 'සර්‍වඥ ධාතූන් වහන්සේලා' ඕනෑම කෙනෙකු ළඟ තිබිය හැකිද යන්න විය යුතුය.
අප විසින් වන්දනා කරනු ලබන ධාතූන් වහන්සේලා, සර්‍වඥ ධාතූන් වහන්සේලා හා අරහත් ධාතූන් වහන්සේලා වශයෙන් තිබෙනවා. එහෙත් මේ තිබෙන සෑම ධාතූන්වහන්සේ නමක්ම සර්‍වඥ ධාතූන් වහන්සේලා හෝ අරහත් ධාතූන් වහන්සේලා කියා නිවැරදිව දැන ගැනීමේ හැකියාව දැන් අවමයි. එහෙත් යම් නෙනෙක් තමන් වන්දනාමාන කරන්නේ සර්‍වඥ ධාතූන් වහන්සේනමකට හෝ අරහත් ධාතූන් වහන්සේනමකට කියා විශ්වාසයෙන් නම් එයින් පාපයක් හෝ අවැඩක් සිදුනොවන බවයි කිව හැක්කේ.

නොයෙක් ස්ථානවලට ධාතූන්වහන්සේලා වැඩම කිරීම ගැන නොයෙක් තොරතුරු ඔබ අසා ඇතුවාට සැක නැත. එසේම කිසිම ප්‍රචාරයක් හෝ ප්‍රසිද්ධියක් නොමැතිව ධාතූන්වහන්සේලාට පුදපූජා පවත්වන ස්ථානත් තිබෙනවා. කිවහැක්කේ, ඉහතදී අප විසින් සඳහන්කළ පරිදි මේ ස්ථානවල ධාතූන්වහන්සේලා වැඩවසන්නේද නැද්ද යන්න කිව නොහැකි බවයි. එවැනි දේ වංචා සහගතව කරන්නේ නම් එහි ප්‍රථිපල ඊට අනුරූපවම සිදුවන බැවින් ඒ සම්බන්ධව වෙහෙසීම අපගේ කාර්යය නොවිය යුතුයි.

එසේම යම් කෙනෙක් කාලයක් තිස්සේ තම ස්ථානයේ ධාතූන් වහන්සේ නමක් අරඹයා පුදපූජා පවත්වමින් සිට, කුමන හෝ හේතුවක් නිසා කටයුතු කරගෙන යාමට නොහැකිව එම ධාතූන්වහන්සේලා වෙනත් සුදුසු ස්ථානයකට භාරදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකියි. අපගේ මේ ආරාධනය යොමු වන්නේ එවැනි පිංවතුන් වෙතටයි.

තව දුරට මෙම තත්වය විස්තර කළොත්, අපගේ මුල් සටහනක සඳහන් කළ පරිදි බෞද්ධයන් විසින් වන්දනාමාන කළ යුතු ‍ත්‍රිවධ චෛත්‍ය ගැන සඳහන්වෙනවා. ශාරීරික, උද්දේශික හා පාරිභෝගික වශයෙන් ඒවා හැඳින්වෙනවා. මෙහි එන ශාරීරික චෛත්‍ය යන්න ධාතු චෛත්‍ය වශයෙනුත් හැඳින්විය හැකියි. අප මෙලෙස ධාතු චෛත්‍ය කරවා වන්දනාමාන කරන්නේ බුදුරජානන්වහන්සේ වෙනුවෙන්ය. එබැවින් එවැනි චෛත්‍යක නො එසේනම් දාගැබක සර්‍වඥධාතූන් වහන්සේලා තැම්පත් කිරීමයි අරමුණ.

Friday, 24 April 2009

ශාසනාලයෙන් කරන ආරාධනයයි......!

බෞද්ධ විහාරයක් ත්‍රිවිධ චෛත්‍යයන් ගෙන් සමන්විය යුතුයැයි මතයක් වේ. 1930 දී ආරම්භ කළ ගනේ‍ගොඩ පන්සලේ විහාර මන්ඳිරයක් හා බෝධීන් වහන්සේනමක්ද තිබෙන නමුත් දාගැබක් ඉදිකර නොතිබුණි. මෙම අඩුපාඩුව සම්පූර්ණ කිරීමේ අරමුණින් චෛත්‍ය රාජයානන්වහන්සේ නමක් ඉදිකරීම පිණිස මුල්ගල් තැබීම 2006.10.27 සිදු කරන ලදී.

මෙම චෛත්‍යය විශේෂ සැලැසුමකට අනුව ඉදිකරන්නකි. ප්‍රධාන චෛත්‍යයට අමතරව සතර දිශාවලින් පරිවාර චෛත්‍ය හතරක්ද මෙම ඉදිකිරීමට ඇතුලත්ය. මෙම චෛත්‍ය අභ්‍යන්තරයට ඇතුල් වී ධාතු මන්ඳිරය නැරඹීමට හා සර්‍වඥධාතූන් වහන්සේලා වන්දනා කිරීමට අවස්ථාව වන්දනාමාන කරන පින්වතුන්ට හිමිවේ. එසේම මෙම චෛත්‍ය ඉදිකොට ඇත්තේ භූගත විහාර මන්ඳිරයක් සමගය. මෙම විහාර මන්දිරයතුල ලංකාද්වීපයේ ඉතිහාසය සිතුවම් කිරීමට සැලසුම්කොට තිබේ. තම ඉතිහාසය නොදන්නා අනාගත පරපුරක් බිහිවීමේ අනතුර හොඳින් වටහාගෙන සිටින අප, අපගේ ශක්ති ප්‍රමාණයෙන් ලංකා ඉතිහාසය සිතුවම් කොට තැබීමට අදහස් කළේ එය, සුපුරුදු පරිදි ජාතක කථා හෝ බුද්ධ චරිතය සිතුවම් කරනවාට වඩා ජාතික මෙහෙවරක් ලෙස හඳුනාගත් බැවිනි.

මෙම චෛත්‍ය රාජයානන්වහන්සේ වටා අලංකාර ඇත් පවුරක් ඉදිකර ඇති අතර එම ඇත්පවුර මත කුඩා චෛත්‍ය විසි අටක් ඉදිකොට ඇත. මෙම දාගැබ් ආකාර අටවිසි බුදුකුටි තුල අටවිසි බුදු රජානන්වහන්සේලා සංකේතවත් කරමින් එකිනෙකට වෙනස් ආකාර වූ සමාධි බුදුපිළිම විසි අටනමක් මෙහි තැම්මත් කිරීමට සැලසුම් කොට තිබේ. ලංකාවේ සුපතල සමාධි පිළිමවහන්සේලා විසි අටනමකගේ අනු රූ මෙහි තැම්පත් කිරීමත්, ඊට සමගාමීව එම පිළිමවහන්සේලා පිළිමඳව තොරතුරු ඇතුලත් කොට පරිශීල ග්‍රන්තයක් ප්‍රකාශයට පත්කිරීමත් අපගේ අරමුණයි. ලංකා ඉතිහාසය හෝ පුරාවිද්‍යාව හෝ චිත්‍ර ශිල්පය හදාරන පාසල් ශිෂ්‍යයන්ට මෙන්ම සරසවි සිසුන්ටත් ප්‍රයෝජනවත්වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

මෙම චෛත්‍ය කර්මාන්තයේ සුවිශේෂී මොහොතකට අපි පැමිණ සිටින්නෙමු. චෛත්‍ය රාජයානන්වහන්සේගේ සර්‍වඥ ධාතූන් වහන්සේලා වඩා හිඳුවීමේ, නිදන් වස්තු තැම්පත් කිරීමේ හා කොත්වහන්සේ පැළඳවීමේ මහා පුන්‍යෝත්සවය එළඹෙන වෙසක් පොහෝ දිනට සමගාමීව පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

චෛත්‍ය කර්මාන්තය සඳහා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයන් කුමන ආකාරයක හෝ දායකත්වයක් දැරූ පැවිදි-ගිහි පින්වතුන්ගේ සම්භාවනීය සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව මාලාවේ වැඩ සටහන මෙසේය.

මැයි මස
  • 02 දා සිට 08 වන දා දක්වා සවස 7:00 ට බෝධි පූජාව පැවැත්වීම
  • 03 දා සවස 4:00 ට සර්‍වඥ ධාතූන් වහන්සේලා වැඩම කිරීමේ රථ පෙරහැර
  • 04 දා සිට 06 වන දා දක්වා සවස 6:00 ට සර්‍වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
  • 04 දා සිට 07 වන දා දක්වා සවස 7:30 සිට 9:00 දක්වා පිරිත් දේශනාව
  • 07 දා උදෑසන 8:56 ට යෙදෙන සුභ මොහොතින් සර්‍වඥ ධාතූන් වහන්සේලා වඩා හිඳුවීම
  • 07 දා උදෑසන 8:56 සිට සවස 6:00 දක්වා සැදැහැවතුන්ගේ සුරතින් නිදන්වස්තු තැම්පත් කිරීම
  • 08 දා උදෑසන 8:34 ට කොත් වහන්සේ පැළඳවීම

ශාසන හිතකාමී හා ජාතිමාමක සුපින්වතුනි,
මෙම සුවිශේෂී උත්සව මාලාවේ කුමන අවස්ථාවකට හෝ සහභාගිවන මෙන් ලබැඳිව ආරාධනා කර සිටින අතර, සර්‍වඥ ධාතූන් වහන්සේලා සපයා දීමෙන් හා නිදන්වස්තු තැම්පත් කිරීමෙන් මෙම සත්ක්‍රියාවට සම්බන්ධවන මෙන් කාරුණිකව දන්වා සිටිමි. අපගේ දුරකතන අංක මෙසේය. 0112 536 268 සහ 071 800 60 19

ගමන් මාර්ගය මෙසේය.
බස් රථවලින් පැමිණෙන්නේනම්,

1. කොළඹ පිටකොටුවෙන් 224 පූගොඩ බස් රථයෙන් පැමිණ දොම්පේ පාසල් දෙක හංදියෙන් බසින්න.
2. නැතහොත් ගම්පහ සිට ඇරඹෙන 207 පූගොඩ බස් රථයෙන් පැමිණ දොම්පේ පාසල් දෙක හංදියෙන් බසින්න හැකිය.

වෙනත් වාහනයකින් පැමිනෙන්නේ නම්,

කොළඹ නුවර පාරේ පෑලියගොඩින් ඇරඹෙන බියගම මාර්ගයේ කැලණිය පසුකොට, බණ්ඩාරවත්ත, බියගම හංදිය, මල්වාන, දෙකටන හරහා දොම්පේ පාසල් දෙක හංදියට පැමිණිය හැකිය.

නුවර කොළඹ පාරේ එන්නේනම් මිරිස්වත්ත හංදිය පසුකොට බැළුම්මහර හංදියෙන් හැරී, වැලිවේරිය, දෙල්ගොඩ, කඳුබොඩ, දෙකටන පසුකොට දොම්පේ පාසල් දෙක හංදියට පැමිණිය හැකිය.

නැතහොත් නුවර කොළඹ පාරේ පස්යාල හංදියෙන් වමට හැරී, අත්තනගල්ල, ඌරාපොල, කිරිඳිවැල, පූගොඩ පසුකොට ගිරිදර මංසන්දියට පැමිණිය හැකිය. අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ පැමිණෙන්නෙනම් හංවැල්ලෙන් කිරිඳිවැල මාර්ගයේ පැමිණ ගිරිදරට පැමිණිය හැකිය. ගිරිදර සිට දොම්පෙ නගරය පසු කොට දොම්පේ පාසල් දෙක හංදියට පැමිණිය හැකිය.

දොම්පෙ පාසල් දෙක මැදින් ඇති මාර්ගයේ අඩි කිහිපයක් ඉදිරියට යන විට ඔබට මේ සුවිශේෂි චෛත්‍ය රාජයානන් වහන්සේ දැක ගැනීමට හැකි වේ.

තෙරුවන් සරණයි.

Thursday, 23 April 2009

ශාසනික හා සාමාජීය සේවාවන්..

1964 වර්ෂයේදී ශ්‍රී කල්‍යාණි දහම් පාසල නමින් ගල්වලගොඩ ප්‍රදේශයේ ආරම්භ කර පවත්වාගෙන ගිය දහම් පාසල, 1978.08.11 දින මෙම විහාරස්ථානයට පවර දෙන ලදුව එතැන් පටන් ශ්‍රී සුගතවංශ දහම් පාසල නමින් පවත්වාගෙන යනු ලැබේ. ධර්‍මාචාර්‍ය්‍ය ශ්‍රේණිය දක්වා සියළුම ශ්‍රේවෙල මුලු ශිෂ්‍ය සංඛ්‍යාව දහසකට අධිකය. 1991.07.01 දින මූලික පිරිවෙනක් ලෙස ආරම්භ කරන ලද ගම්/ශ්‍රී සාරානන්ද පිරිවෙන අද මහ පිරිවෙනක් බවට උසස් කොට ඇත. 1983.10.27 දින ආරම්භ කරන ලද සාරානන්ද පුස්තකාලය දැන් සාරානන්ද පර්යේෂණ පුස්තකාලය වශයෙන් විද්‍යාර්ථීහු රාශියක් තම පර්යේෂණ සඳහා උපයෝගී කර‍ ගත්හ. වසර 15ක සිට වාර්ෂිකව සාරානන්ද ලිත මුද්‍රණය කොට බෙදා හරිනු ලැබේ. 1978 වර්ෂයේදී ආරම්භ කරන ලද බෝධිපූජා පිංකම් මාලාව මේවන විට තුන්දහසද ඉක්මවා ගොසිනි.

Wednesday, 22 April 2009

දහම් දැනුම

මෙම බ්ලොග් මාධ්‍ය හරහා, මේවා පරිශීලනය කරනු ලබන පිංවතුනට අවශ්‍යවන විටකදී හා අපහට කාල වේලා ඇති පරිදි දැනුම හා උපදෙස් ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු කරගෙන සිටි.
ඊට ප්‍රථම පන්සලේ ඉතිහාසය සඳහන් කිරීමට අදහස් කළේ වසර අවුරුදු 80 ට ආසන්න කාලයක් පුරා ප්‍රදේශයේ දායක දායිකාවනට මෙන්ම අනෙකුත් බෞද්ධ පිංවතුන් වෙත ධර්මාවබෝධය ලබාදීමට හා යහමත් ජීවිතයකට මග පෙන්වීමට අවස්ථාව උදාවන පරිදි මේ පුණ්‍ය භූමිය ඇති කිරීමටත්, පවත්වාගෙන යාමටත් ඇප කැප වී කටයුතු කළ සියළු දෙනා වෙත පුණ්‍යානුමෝදනා කිරීම අපගේ යුතුකමක් සේ අදහස් කළ බැවිනි.
මේ සම්බන්ධව ඔබ දක්වන අදහස් අපගේ ගමන් මග තෝරා ගැනීම සඳහා පහසුවක් වනු ඇත.
තෙරුවන් සරණයි.

ඉතිහාසයේ දෙවන කොටස

දොම්පෙ ගනේගොඩ ශ්‍රී සුගත ධර්‍මාරක්ෂක සමිතිය මගින් 1935 වර්‍ෂයේදී මෙම ස්ථානයේ පවතින බෝධිය රෝපණය කොට ඒ වටා ප්‍රාකාරයක්ද බැඳවීය. පාඨශාලාචාර්‍ය්‍ය ඩබ්ලිව්. එම්. බබුසිඤ්ඤෝ මහතා විසින් විහාරස්ථානයට පර්චස් 20 ක පමණ බිම් ප්‍රමාණයක් පූජා කරමින් 1936 වර්‍ෂයේදී එහි අභිනව බුදුමැදුරක්ද තනවන ලදී. ඉන්පසුව කේ. කේ. කොරනේලිස් පෙරේරා මහතා විසින් විහාරස්ථානයට යාබදව දකුණු පසින් පර්චස් තුනක බිම් ප්‍රමාණයක් පූජා කරන ලද අතර එවකට පැවති දායක සභාව විසින් තවත් පර්චස් තුනක බිම් ප්‍රමාණයක් මිලට ගෙන පූජා කරන ලදී. එල්. ඒ. ඩී. පුංචිනෝනා මහත්මිය විසින් විහාරස්ථානයට බටහිර දෙසින් පර්චස් 20 ක බිම් ප්‍රමාණයක් 1956 වර්‍ෂයේදී පූජා කරන ලදී. දැනට විහාරාධිකාරී ධූරය හොබවන අප විසින් 1985 වර්ෂයේදී විහාරස්ථානය සඳහා රූඩ් 1 යි පර්චස් 22 ක බිම් ප්‍රමාණයක් මිලට ගෙන පූජා කරන ලදී.

1936 වර්ෂයේදී ඩබ්ලිව්. එම්. බබුසිඤ්ඤෝ මහතා විසින් ඉදිකරවනු ලැබූ විහාර මන්දිරය 1985 ජනවාරි 20 වන දින දක්වා වැදුම් පිදුම් කළ බුදු මැදුර විය. එවකට පැවති දායක සමිතිය මගින් 1937 දී පමණ සාදවනු ලැබූ ධර්ම ශාලාව 1994.10.20 වෙනි දින දක්වා සියළු පොදු කටයුතු සඳහා යොදා ගන්නා ලදී. 1975 වර්‍ෂයේදී ආරම්භ කරන ලදුව රුපියල් ලක්ෂ තුනක පමණ වියදමින් ඉදිකරනු ලැබූ නව බුදුමැදුර 1985.01.20 වෙනි දින විවෘත කරන ලදී. 1985 වර්ෂයේදී වැඩ ආරම්භ කරන ලදුව රුපියල් දශලක්ෂයක පමණ වියදමින් ඉදිකරනු ලැබූ දාන ශාලාව සහිත දෙමහල් සංඝාවාස මන්දිරය 1992.11.06 වෙනි දින විවෘත කරන ලදී. 1994.10.20 වෙනි දින හදිසියේ කඩා වැටුනු පැරණි දාන ශාලාව වෙනුවට රුපියල් ලක්ෂ තුන හමාරක පමණ වියදමින් අඩි 100 x 20 ප්‍රමාණයේ ශාලාවක් ඉදි කරවන ලදී. පධානඝරය, පුස්තකාලය හා නේවාසිකාගාරය යන අංග වලින් සමන්විත තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සඳහා 1997.06.06 දින මුල් ගල තැබූ අතර රුපියල් ලක්ෂ 12 ක පමණ වියදමින් ඉදිකළ පධානඝරය විවෘත කිරීම 2000.08.06 වෙනි දින සිදුවූ අතර 1999. 09. 26 දින මුල්ගල් තබන ලදුව රුපියල් ලක්ෂ 12 පමණ වියදමින් ඉදිකරවනු ලැබූ පුස්තකාලය 2003.02.01 දින සිදු කරන ලදී.

Tuesday, 21 April 2009

පළමුව ඉතිහාසය

ශ්‍රී සද්ධර්‍මාචාර්‍ය්‍ය පූජ්‍ය විටියල ශ්‍රී සාරානන්ද මාහිමියන්වහන්සේ විසින් දොම්පෙ මීගහවත්ත ප්‍රදේශයේ ගෙනයනු ලැබූ ධර්‍ම ප්‍රචාරක කටයුතුවලින් ප්‍රසාදයට පත් පිරිස අතර දොම්පෙ ලියනේගම ප්‍රදේශයේ විසූ ශීලවංශ මුදියන්සේ මහතාද විය. ශීලවංශ මහතාගේ ආරාධනය පරිදි සාරානන්ද මා හිමියන්වහන්සේගේ දෙටු ශිෂ්‍යවර සද්ධර්මකීර්ති ශ්‍රී විනයාචාර්‍ය්‍ය පූජ්‍ය කපුගම සුගතවංශසාභිධාන කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මා හිමියන්වහන්සේ, ලියනේගම ප්‍රදේශයේ ධර්‍ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඩබ්ලිව්. එම්. පොඩිසිඤ්ඤෝ අප්පුහාමි, එල්. ඒ. හෙන්ද්‍රික් පෙරේරා, එල්. ඒ. ජුවානිස් පෙරේරා, එච්. පී. දනියෙල් පෙරේරා යන මහත්වරුන් ප්‍රධාන පළාත් වාසී බෞද්ධ පින්වතුන්ගේ පරිශ්‍රමයෙන් හා පාඨශාලාචාර්‍ය්‍ය ඩබ්ලිව්. එම්. බබුසිඤ්ඤෝ මහතාගෙන් ලබාගත් පර්චස් හතළිහක් පමණ වූ බිමෙහි එක් පසෙක ඉදිවුණු කුඩා බුදුමැදුරකින්, ධර්‍ම ශාලාවකින් හා තාවකාලික ආවාස ගෙයකින් යුතුව ව්‍යවහාර වර්‍ෂයෙන් එක්වාදහස් නවසිය තිහේදී දොම්පේ පුණ්‍යවර්ධන බෞද්ධ ආශ්‍රමය නමින් මෙම විහාරස්ථානය ආරම්භ වී ඇත.


Saturday, 18 April 2009

තෙරුවන් සරණයි..!

ගනේගොඩ පන්සලේ හතර පේරුවට අයත් ගම්මානවල වෙසෙන පින්වතුන්ගේ ආගමික අවශ්‍යතාවයන් ඉටු කිරීමට අමතරව සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරමින් වර්තමාන පරම්පරාවට යහමග පෙන්වීමත් අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත හෙට දවසක් ඇතිකිරීමත් අපගේ ප්‍රමුඛ අභිලාෂයෝ වෙති.