Wednesday 22 April 2009

ඉතිහාසයේ දෙවන කොටස

දොම්පෙ ගනේගොඩ ශ්‍රී සුගත ධර්‍මාරක්ෂක සමිතිය මගින් 1935 වර්‍ෂයේදී මෙම ස්ථානයේ පවතින බෝධිය රෝපණය කොට ඒ වටා ප්‍රාකාරයක්ද බැඳවීය. පාඨශාලාචාර්‍ය්‍ය ඩබ්ලිව්. එම්. බබුසිඤ්ඤෝ මහතා විසින් විහාරස්ථානයට පර්චස් 20 ක පමණ බිම් ප්‍රමාණයක් පූජා කරමින් 1936 වර්‍ෂයේදී එහි අභිනව බුදුමැදුරක්ද තනවන ලදී. ඉන්පසුව කේ. කේ. කොරනේලිස් පෙරේරා මහතා විසින් විහාරස්ථානයට යාබදව දකුණු පසින් පර්චස් තුනක බිම් ප්‍රමාණයක් පූජා කරන ලද අතර එවකට පැවති දායක සභාව විසින් තවත් පර්චස් තුනක බිම් ප්‍රමාණයක් මිලට ගෙන පූජා කරන ලදී. එල්. ඒ. ඩී. පුංචිනෝනා මහත්මිය විසින් විහාරස්ථානයට බටහිර දෙසින් පර්චස් 20 ක බිම් ප්‍රමාණයක් 1956 වර්‍ෂයේදී පූජා කරන ලදී. දැනට විහාරාධිකාරී ධූරය හොබවන අප විසින් 1985 වර්ෂයේදී විහාරස්ථානය සඳහා රූඩ් 1 යි පර්චස් 22 ක බිම් ප්‍රමාණයක් මිලට ගෙන පූජා කරන ලදී.

1936 වර්ෂයේදී ඩබ්ලිව්. එම්. බබුසිඤ්ඤෝ මහතා විසින් ඉදිකරවනු ලැබූ විහාර මන්දිරය 1985 ජනවාරි 20 වන දින දක්වා වැදුම් පිදුම් කළ බුදු මැදුර විය. එවකට පැවති දායක සමිතිය මගින් 1937 දී පමණ සාදවනු ලැබූ ධර්ම ශාලාව 1994.10.20 වෙනි දින දක්වා සියළු පොදු කටයුතු සඳහා යොදා ගන්නා ලදී. 1975 වර්‍ෂයේදී ආරම්භ කරන ලදුව රුපියල් ලක්ෂ තුනක පමණ වියදමින් ඉදිකරනු ලැබූ නව බුදුමැදුර 1985.01.20 වෙනි දින විවෘත කරන ලදී. 1985 වර්ෂයේදී වැඩ ආරම්භ කරන ලදුව රුපියල් දශලක්ෂයක පමණ වියදමින් ඉදිකරනු ලැබූ දාන ශාලාව සහිත දෙමහල් සංඝාවාස මන්දිරය 1992.11.06 වෙනි දින විවෘත කරන ලදී. 1994.10.20 වෙනි දින හදිසියේ කඩා වැටුනු පැරණි දාන ශාලාව වෙනුවට රුපියල් ලක්ෂ තුන හමාරක පමණ වියදමින් අඩි 100 x 20 ප්‍රමාණයේ ශාලාවක් ඉදි කරවන ලදී. පධානඝරය, පුස්තකාලය හා නේවාසිකාගාරය යන අංග වලින් සමන්විත තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සඳහා 1997.06.06 දින මුල් ගල තැබූ අතර රුපියල් ලක්ෂ 12 ක පමණ වියදමින් ඉදිකළ පධානඝරය විවෘත කිරීම 2000.08.06 වෙනි දින සිදුවූ අතර 1999. 09. 26 දින මුල්ගල් තබන ලදුව රුපියල් ලක්ෂ 12 පමණ වියදමින් ඉදිකරවනු ලැබූ පුස්තකාලය 2003.02.01 දින සිදු කරන ලදී.

No comments:

Post a Comment