Sunday 26 April 2009

සර්‍වඥ ධාතූන් වහන්සේලා වැඩම කිරීම

අපගේ පූර්ව සටහනේ වූ සටහනක් පිළිබඳව යම් ගැටළු සහහගත තත්වයක් ඇති වී ඇති බව දැනගන්නට ලැබුනා. ඒ මේ කොටස ගැනයි.

"ශාසන හිතකාමී හා ජාතිමාමක සුපින්වතුනි,
මෙම සුවිශේෂී උත්සව මාලාවේ කුමන අවස්ථාවකට හෝ සහභාගිවන මෙන් ලබැඳිව
ආරාධනා කර සිටින අතර, සර්‍වඥ ධාතූන් වහන්සේලා සපයා දීමෙන් හා නිදන්වස්තු
තැම්පත් කිරීමෙන් මෙම සත්ක්‍රියාවට සම්බන්ධවන මෙන් කාරුණිකව දන්වා
සිටිමි. "


ඔවුන්ට ඇතිවූ සැකය 'සර්‍වඥ ධාතූන් වහන්සේලා' ඕනෑම කෙනෙකු ළඟ තිබිය හැකිද යන්න විය යුතුය.
අප විසින් වන්දනා කරනු ලබන ධාතූන් වහන්සේලා, සර්‍වඥ ධාතූන් වහන්සේලා හා අරහත් ධාතූන් වහන්සේලා වශයෙන් තිබෙනවා. එහෙත් මේ තිබෙන සෑම ධාතූන්වහන්සේ නමක්ම සර්‍වඥ ධාතූන් වහන්සේලා හෝ අරහත් ධාතූන් වහන්සේලා කියා නිවැරදිව දැන ගැනීමේ හැකියාව දැන් අවමයි. එහෙත් යම් නෙනෙක් තමන් වන්දනාමාන කරන්නේ සර්‍වඥ ධාතූන් වහන්සේනමකට හෝ අරහත් ධාතූන් වහන්සේනමකට කියා විශ්වාසයෙන් නම් එයින් පාපයක් හෝ අවැඩක් සිදුනොවන බවයි කිව හැක්කේ.

නොයෙක් ස්ථානවලට ධාතූන්වහන්සේලා වැඩම කිරීම ගැන නොයෙක් තොරතුරු ඔබ අසා ඇතුවාට සැක නැත. එසේම කිසිම ප්‍රචාරයක් හෝ ප්‍රසිද්ධියක් නොමැතිව ධාතූන්වහන්සේලාට පුදපූජා පවත්වන ස්ථානත් තිබෙනවා. කිවහැක්කේ, ඉහතදී අප විසින් සඳහන්කළ පරිදි මේ ස්ථානවල ධාතූන්වහන්සේලා වැඩවසන්නේද නැද්ද යන්න කිව නොහැකි බවයි. එවැනි දේ වංචා සහගතව කරන්නේ නම් එහි ප්‍රථිපල ඊට අනුරූපවම සිදුවන බැවින් ඒ සම්බන්ධව වෙහෙසීම අපගේ කාර්යය නොවිය යුතුයි.

එසේම යම් කෙනෙක් කාලයක් තිස්සේ තම ස්ථානයේ ධාතූන් වහන්සේ නමක් අරඹයා පුදපූජා පවත්වමින් සිට, කුමන හෝ හේතුවක් නිසා කටයුතු කරගෙන යාමට නොහැකිව එම ධාතූන්වහන්සේලා වෙනත් සුදුසු ස්ථානයකට භාරදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකියි. අපගේ මේ ආරාධනය යොමු වන්නේ එවැනි පිංවතුන් වෙතටයි.

තව දුරට මෙම තත්වය විස්තර කළොත්, අපගේ මුල් සටහනක සඳහන් කළ පරිදි බෞද්ධයන් විසින් වන්දනාමාන කළ යුතු ‍ත්‍රිවධ චෛත්‍ය ගැන සඳහන්වෙනවා. ශාරීරික, උද්දේශික හා පාරිභෝගික වශයෙන් ඒවා හැඳින්වෙනවා. මෙහි එන ශාරීරික චෛත්‍ය යන්න ධාතු චෛත්‍ය වශයෙනුත් හැඳින්විය හැකියි. අප මෙලෙස ධාතු චෛත්‍ය කරවා වන්දනාමාන කරන්නේ බුදුරජානන්වහන්සේ වෙනුවෙන්ය. එබැවින් එවැනි චෛත්‍යක නො එසේනම් දාගැබක සර්‍වඥධාතූන් වහන්සේලා තැම්පත් කිරීමයි අරමුණ.

No comments:

Post a Comment